ප්‍රංශයට ගහද්දි උඹලට රිදෙන්නේ ඇයි?

ප්‍රංශ ප්‍රහාරයට විරුද්ධව ප්‍රොෆයිල් පින්තූරය මාරු කලේ නැත. එසේ මාරු කිරීම ගැන පරහක් ද නැත. නමුත් ප්‍රංශයට ගහද්දි ප්‍රොෆයිල් පින්තූර මාරු කරන අය එදා ලංකාවේ ත්‍රස්ත ක්‍රියා සිදුවෙද්දි ප්‍රොෆයිල් පින්තූර මාරු නොකලේ මන්දැයි අසන්නන්ට යමක් කිව යුතුය.

එදා ලංකාවේ ත්‍රස්ත ක්‍රියා සිදුවෙද්දී ප්‍රොෆයිල පින්තූර මාරු කිරීමේ ‘ට්‍රෙන්ඩ්’ එකක් නොතිබූ බව සැබවකි. එහෙත් කිසිවෙක් කිසිවක් නොකලේය කියන එක අමු කුහක කතාවකි. ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කරන්නට අප රටක් වශයෙන් පෙළ ගැසුනෙමු. තුවක්කුවක් දරා ගෙන යුධ පෙරමුණට නොගියද, අවසන් කල යුතු ක්‍රමවේදය ගැන අප අතර මතභේද තිබුනද, ත්‍රස්තවාදය කෙසේ හෝ අවසන් කල යුතු බව විශ්වාස කලෙමු. ලක්ෂ ගණනින් පුරවැසියන් යුධ හමුදා සේවයට බැඳුනේද, ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමට හැකිවුනේද ජනතාවක් වශයෙන් අප තුළ තිබුන ඒ හැඟීම නිසාවෙනි.

රටක් වශයෙන් සාමූහිකව ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන විශ්වාස නොකලා නම්.. ආගම, ජාතිය කුමක් වුවත් පුරවැසියන් වශයෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමට වචනයකින් හෝ දායකත්වය ලබා නොදුන්නා නම් ඒ ජය අත්කර ගැනීමට නොහැකි වනු ඇති බව අමුතුවෙන් නොකිවමනාය.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුමේ අප සියල්ලන් අපගේ භූමිකා රඟපෑවෙමු. යුධමය වශයෙන් හෝ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ ඒ නිසාවෙනි.

ඒ කාලවකවානුවේ සයිබරයේ ප්‍රොෆයිල් පින්තූරයක් මාරු කිරීම/නොකිරීම ගැන දෙඩවීම පලක් ඇති දෙයක් නොවන්නේ ඒ නිසාය. මන්ද ප්‍රොෆයිල පින්තූර මාරු නොකලාට රටක් වශයෙන් සාමූහිකව අප යුධජයග්‍රහණයක් අත් කරගත් නිසාය. ජයග්‍රණයට අප සැවොම දායකත්වය දුන් නිසාය.

යුධමය වශයෙන් රටක් ලෙස සාමූහිකව ලබා ගත් ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය පුද්ගලයින් දෙතුන් දෙනෙකුට ලබා දීමට කටයුතු කල මෙවන් පඟර නැට්ටන් ‘ ඒ කාලේ තොපි මොනවද කලේ? අපේ උන්නාන්සේලානේ ඔක්කෝම කලේ” වගේ කථා කීම ගැන පුදුම විය යුතු නැත.

ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ මේ ප්‍රශ්නය පමණි.

“යුධ ජයග්‍රහණය ලබා ගන්නට රටක් වශයෙන් අප කටයුතු කලේ නැත්නම්, එකතු වූයේ නැතිනම්, ප්‍රාර්ථනා කලේ නැති නම්..

යුධ ජයග්‍රහණය ලබා ගන්නට තොපි මොනවද කලේ? ත්‍රස්තවාදය අවසන් කරන්නට තොපි මොනවද කලේ? බෝම්බ පුපුරද්දි තොපි මොනවද කලේ”

කියාය.

අපට බෝම්බ ගහද්දිත් තොපි මුකුත් නොකලා නම්, ප්‍රංශෙට බෝම්බ ගහද්දිත් තොපි මුකුත් නොකරනවා නම්, නොකියනවා නම්.. වචනයකින් හරි විරුද්ධත්වය ප්‍රකාශ කරන අයට තමාගේ කුහක නිරුවත ප්‍රදර්ශනය නොකර පැත්තකටවී බලා හිටපියව් කියාය.

කසුන් චන්ද්‍රනාත් මිත්‍රයාගේ අදහසක් අවසන් වශයෙන් ඉදිරිපත් කරමි. දුක් විය යුත්තේ තමාගේ වරිගයේ අයවලුන් ගැන පමණක්ය සිතනා ගොබිලන් හට මීට වඩා කීමට දෙයක් නොමැත.

“මිනී මැරීම ෆැෂන් එකක් වනවාට වඩා

මනුෂ්‍යත්වය ෆැෂන් වීමේ ගැටලුවක් නොමැත.

ඒ ෆැෂන් එක තමන්ගේ රටේ මිනිසුන් වෙනුවෙන් නොවීම ගැන අමුතුවෙන් දුක් විය යුතු ද නැත.”

මන්ද කුමන රටක කුමන පෙදෙසක ජීවත් වුවද සමේ පැහැය කුමක් වුවද, අප සැවොම මිනිසුන් නිසාවෙනි.

Leave a comment