සේයාගෙන් පසු..

දරුවන් පණ මෙන් සුරකිමු තේමාව යටතේ සංවිධානය කෙරුනු පාගමනක් විවේචනය කරමින් මාතලන් ලියූ කදිම සටහනක් කියවූ පසු එහි මතුවූ වටිනා අදහස් කිහිපයක් ගැන මගේ අදහස් ස්වල්පයක්ද එකතු කිරීමට සිත් විය.

සංවිධානය කෙරුන පාගමන ගැන මාතලන් සඳහන් කොට තිබූ කරුණු කාරණා වලට සම්පූර්ණයෙන්ම එකඟ වෙමි. මාතලන් සඳහන් කොට තිබුනා සේම ඡායාරූපයේ පොලිසිය නියෝජනය කරමින් සිටිනා නිළධාරියා නිසාම එහි අර්ථශුන්‍යය බව ඉස්මතුවී ඉතිරි කරන්නේ උත්ප්‍රාසයක්ම පමණි.

ලක්ෂ ගණනින් මුදල් වියදම් කර පාගමන් සංවිධානය කල යුත්තේ යම් දෙයක් ගැන සමාජයේ අවධානයක් (awareness) ඇති කිරීමටය. දැනටමත් සමාජයේ අවධානය යොමුව ඇති හඳුනා ගත් ප්‍රශ්නයක් වේ නම් කල යුත්තේ එයට විසඳුම් සෙවීම මිස අත් අල්ලන් පාර දිගේ බඩගෑම නොවේ.

සේයා මේ රටේ සියලුම දෙනාගේ රෙදි ගැලෙව්වේය කියා මාතලන් කියනා කතාව මසුරන්ය. රටක් වශයෙන් ලෝකයේ අප සිටිනා තැන ගැන අපටම ඇගයීමක් කර ගැන්මට ලැබුන කදිම අවස්ථාවකි, සේයා දැරියගේ ඝාතනය සහ එම සිද්ධියට අප ජනසමාජයක් වශයෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරය.

සේයාගේ ඝාතනය හරහා සෘජුව කතා කෙරුනේ ළමා අපචාර සම්බන්ධවය.

මේ ගැන කල සොයා බැලීමකට පසු මා දැනගත් පරිදි Pedophilia යනු බොහෝ විට උපතින්ම හිමිවන සුව කල නොහැකි මානසික තත්වයකි(වැරදි නම් නිවැරදි කරන්න). එසේ වුවද මානසික වෛද්‍ය උපදේශන මඟින් Pedophilia මානසික තත්වයේ සිටින පුද්ගලයින්ට ඇතිවන හැඟීම් පාලනය කිරීමට ආධාර ලබා දිය හැකි බවද සඳහන්ය.

සේයාගේ මරණයට සමාජයක් වශයෙන් අප දැක්වූ ප්‍රතිචාරයෙන් පසු ගැටළුව විසඳීමට ඇති තවත් මාර්ගයක් අප විසින්ම අවහිර කරගත් බව පෙනේ.

ඒ මානසික උපදේශන මඟින්ම පාලනය කල යුතු මානසික තත්වයකින් පෙළෙන පුද්ගලයෙක් තව දුරටත් වෛද්‍යවරයෙක් හෝ වෙනත් පුද්ගලයෙක් ඉදිරියේ තමා සිටිනා තත්වය හෙළි කිරීමට සූදානම් වේද යන්න සැකසහිත නිසාය.

විශේෂයෙන්ම ළමා අපචාරකයින්ව ගාලු මුවදොර පිටියට ගෙනවිත් සියල්ලන් ඉදිරියේ පණ පිටින් හම ගැසිය යුතු යැයි සිතනා සමාජයක් ඉදිරියේ ඔවුන් තව තවත් සැඟවී සිටීමට උත්සාහ කරනු විනා ඉදිරියට පැමිණ තම වෛද්‍ය සහය ලබා ගැන්මට පෙළඹේ යැයි සිතිය නොහැක.

අවසානයේ මෙසේ සැඟවී යන හානිකර ලිංගික ආශා පිටව යන්නේ තවත් අහිංසක ළමා ජීවිතයක් විනාශ කරගෙන විය හැක.

එනයින් ගත් කල ද්වේෂ සහගත මානසිකත්වයෙන් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ගොස් අප විසින් ප්‍රශ්නය තවත් උග්‍රකර ගත්තා දැයි සිතේ.

ජනසමාජයක අනාගතය නියෝජනය කරන ළමා පරපුර එම සමාජයේම වැඩිහිටියන්ගේ ලිංගික අතකොළු බවට පත් වීමට එරෙහිව අප සියල්ලන් කටයුතු කල යුතු බවට විවාදයක් නැත.

නමුත් එම විරෝධය පැමිණිය යුත්තේ කොන්දේසි රහිතව මිස කොන්දේසි සහිතව නොවේ.

උදාහරණයකට ආගමික ස්ථාන වල සිදුවේ යැයි කියන ළමා අපචාර වලටද සේයාගේ අපචාරයට දැක්වූ විරෝධයම එල්ල විය යුතුය.

අපගේ දේශපාලනික, ආගමික, මානසික උවමනා එපාකම් වෙනුවෙන් වැඩිහිටියන්ට ළමයින්ව අපචාරයට ලක් කිරීමට ඉඩදෙන සමාජ ක්‍රමයක් ආරක්ෂා කරන ගමන් තැනින් තැන සිදුවන එවැනිම සිද්ධි වලට එරෙහිව සරම කරට ගැනීමෙන් තහවුරු වන්නේ අප කන්න වුනාම කබරයා තලගොයා කරගන්නා කුහකයන් පිරිසක් බව පමණකි.

ලිංගිකව පමණක් නොව ශාරීරිකව සහ මානසිකවද පාසැලේදී, ආගමික ස්ථානවල මෙන්ම දෙමාපියන් අතින්ද වන ළමා අපචාර ගැන සමාජයක් වශයෙන් මීට වඩා සංවේදී විය යුතුය.

අප ජීවත් වන, මතවාදීමය වශයෙන් අප විසින් රකිනා සමාජ ක්‍රමය පිළිබඳව අප තව තවත් ප්‍රශ්න කල යුතුය.

අප රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සිදුවීම යථාර්තයක් බවත් සමාජයක් වශයෙන් මේ ගැටළු වලට කඩිනමින් විසඳුම් සෙවිය යුතු බවත් අඩුම තරමේ තේරුම් ගෙන සිටීම සතුටුදායකය.

අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ ලිංගිකත්වය හා බැඳෙන මෙම අපරාධ දිගින් දිගටම සිදු වීමෙන් අවසානයේ ඉතිරි කරන්නේ අප සමාජයක් වශයෙන් ලිංගිකත්වය ගැන දරණ ආකල්ප පිළිබඳ ප්‍රශ්නාර්ථයක් බවය.

DSC_7991

Advertisements

එල්ලුම් ගහ ගේමු

1024px-WWII_Krakow_-_04

සේයා කියල දරුවෙක්ව දූෂණය කරලා මරලා කියන ආරංචිය ඇහුන ගමන් අපේ මිනිස්සු එකපාරම එල්ලුම්ගහ ඉල්ලලා කෑගහපු එක ගැන එක අතකට පුදුම වෙන්න දෙයක් නෑ. තමාට භය හිතෙන, තමාට තේරුම් ගන්න බැරි දේවල් විනාශ කරන්නයි මිනිස්සු බලන්නෙ.

“People fear what they don’t understand and hate what they can’t conquer.” ― Andrew Smith

මිනිස්සු සේයාගේ ඝාතකයා කියන (තවම මූණක් නැති) පුද්ගලයාගෙන් දැක්කෙ නොමිනිසෙක්ව. තිරිසනෙක්ව. අපේක්ෂිත ප්‍රාථමික මිනිස් හැසිරීම් වත් නැති වල් සතෙක් වෙච්චි ඒකා කරලා තිබ්බේ ම්ලේච්ඡත්වයේ පහත්ම අඩියේම කියල සම්මත මහා අපරාධයක්.

මේ නිසා ඝාතකයාව සමාජය ඉස්සරහා අමානුෂීකකරණය (dehumanize) වෙනව.

එතනින් එහාට උගේ අයිතීන් ගැන හිතන්න ගොඩක් දෙනා පෙළඹෙන්නෙ නෑ. මොකද අයිතීන් තියෙන්න නම් මනුස්සයෙක් වෙන්න ඕනනෙ.

අහිංසක මලක් වගේ දරුවෙක් දූෂණය කරලා මරලා දාපු වනචර මිනීමරුවෙක්ට මොන අයිතීන්ද?

මේ වගේ අපරාදයක් කරන්න පුළුවන් මොන වගේ මනුස්සයෙක්ටද? මනුස්සයෙක්ට පුළුවන්ද මෙහෙම අපරාධයක් කරන්න?

මූ මොන ජාතියේ මනුස්සයෙක්ද? කොටින්ම මූ මනුස්සයෙක්ද?

ඔන්න ඔය හේතු නිසයි තමාට නොතේරෙන, තමාගේ පැවැත්මට තර්ජනයක් වෙච්චි මේ නොමිනිස් පිළිලය සාහසික විදිහට විනාශ කරන්න යෝජනා එන්නෙ. මනුෂ්‍යයෙක්ට නොලැබෙන්න ඕන සැලකුම් වගේම සතෙක්ටවත් නොදෙන්න ඕන වධහිංසා ගැන යෝජනා එන්නෙ.

මරණ දණ්ඩනය ගෙනල්ලා මුන්ගෙන් නීත්‍යාණුකූලව පළිගන්න එක හැරෙන්න ඊට ගැඹුරු දෙයක් සමාජය මෙතනදි බලාපොරොත්තු වෙන්නේ නෑ,

අපරාධකාරයන්ගෙන් පළිගන්න ! ඒකත් නීත්‍යානුකූලව සම්මත කරල !

මෙතනදි පොලිසිය වැඩකල විදිහ ගැන නම් කියන්න දෙයක් ඉතුරු වෙලා ඇතියි කියල හිතන්නෙ නෑ. පොලිසියට ඕන වුනේ අපරාධයට මුල් වුන කෙනා හොයා ගන්න එකට වඩා සමාජය ඉස්සරහා ඝාතකයා මූය කියල මූණක් එළියට දැමීමේ තදියමක්.

ඇතා ලවා පාගවලා මරන්න වරදිකාරයා තීරණය කරද්දි ඇත්ත වැරදිකාරයා පැත්තකින් තියල ඇතාට අපහසුවක් නොදැනෙන්න මහත වෙනත් මනුස්සයෙක් පාගවලා මරපු කැකිල්ලේ රජ්ජුරුවෝ ගැන අපි අහලා තියෙන්නේ කතන්දර වල. මෙතනදි පොලිසියේ විකටයන් වැඩ කලේ කැකිල්ලේ රජ්ජුරුවන්ටත් අන්ත විදිහට.

නිසි පරීක්ෂණයක් කරලා සාක්ෂි මත පදනම් වෙලා අපරාධකාරයාව හොයනවා වෙනුවට පොලිසිය කලේ තමාගේ ඔලුවේ නරකයි කියලා සම්මත හැසිරීම් තියෙන උන්ව අල්ලන් ගිහිල්ලා වරද පිළිගන්න කියලා එළිවෙනකල් තඩිබාන එක.

කැකිල්ලේ රජ්ජුරුවෝ ඇතාට ගැලපෙන විදිහට වරදකාරයා තීරණය කලා වගේ පොලිසිය කලේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවලට ගැලපෙන මනුස්ස ප්‍රාණයක් සමාජයට ඉස්සරහට දාන්න උත්සාහ කරපු එක. ඒ කෙනා කවුද කියන එක එතනදි වැදගත් වුනේ නෑ.

පරණ වැරදි තියෙන අය, ගංජා ගහන අය, බ්ලූ බලන අය ඉබේම සැකකරුවෝ වෙලා ගුටි කෑවේ ඒනිසයි.

පොලිසිය ඇතුළෙදි හම් තලනවා වගේ තැළුම් කාලා එලියෙදි ශිෂ්ඨ කියල කියන සමාජය විසින් ඒ අහිංසකයන්ගේ ආත්මගරුත්වයයි පුද්ගලිකත්වයයි විනාශ කරලා මිනිස් හප බවට පත් කලේ ඝාතකයා විසින් සේයාව තලා පෙළා පොඩි කල විදිහටමයි.

ඒ අතින් ගත්තාම කොණ්ඩයාව එල්ලන්න කිය කිය කෑගැහැව්වෙත් ලේ පිපාසයෙන් පෙළිච්ච කොණ්ඩයෝම ටිකක්. සේයාගේ ඝාතකයාගෙන් පළිගැනීමේ මානසික වින්දනය තමාගේ සමාජයේම ජීවත්වන අහිංසකයින් කීපදෙනෙක් යොදාගෙන ඉෂ්ඨ කරගත්තා.

මෙච්චර කරලත් තවම සැබෑ ඝාතකයා ගැන අදහසක්වත් නෑ,

අන්තිමට වෙන්නේ ඇත්ත ඝාතකයා එළියට ආවම මුලින් මිනිස් හප බවට පත් කරපු සැකකරුවන්ට ආපු අවධානය ඇත්ත අපරාධකරුවට නොලැබෙන එක. මොකද මේගොල්ලන්ගේ ආතල් එක ඒගොල්ලෝ අරන් ඉවරයි. හම තලල තලලා මහන්සියි.

මෙහෙම පොලිසියක්, මෙහෙම නීතියක්, මෙහෙම ජනතාවක්, මෙහෙම පාලකයෝ ඉන්න රටක තමා එල්ලුම් ගහ නීතිගත කරන්න කියලා මිනිස්සු කෑගැහැව්වේ.

අර අහිංසකයින්ට වෙච්චි දේ ඊළඟ දවසේ ඔබට වුනාම, මේවගේ පොලිසියකින් ගුටිකාලා වරද පිළි අරන් එල්ලුම්ගහට යන්න වුනාම එල්ලුම් ගහේ අගේ තේරෙයි.

මේ වගේ නීතියක් තියෙන රටක වැසියන්ව නීත්‍යාණුකූලව ඝාතනය කරන්න නීතියට අවසර දෙමු. එච්චරනෙ අඩු.

ඉතින් ගේමු.. එල්ලුම් ගහ ගේමු !