Why me ? – ඇයි මටම වෙන්නේ ?

“මට ම මයි වෙන්නෙ”

අපේ ජීවිත කාලයේ කී පාරක් නම් අපට ඒ විදිහට හිතිලා ඇද්ද?

ඇයි මටම මෙහෙම වෙන්නෙ? කොච්චර හොඳ කලත් වැඩක් නෑ.. හොඳ මිනිස්සුන්ට මයි නරක දේවල් වෙන්නෙ..

ඇයි මේ අසාධාරණය…?

හොඳ දේවල් වෙන්න ඕන හොඳ මිනිස්සුන්ටනෙ. නරක දේවල් කාටහරි වෙනවා නම්, එහෙම වෙන්න ඕන නරක අයටනෙ. එහෙම නෙමේද?

අපි හැමෝම හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ අපිට වෙනවා නම් වෙන්න ඕන හොඳ දේවල් විතරයි කියල. ඒක නිකන් හරියට ලෝකය අපිට හොඳ දේවල් කරන්න ණයයි වගේ හැඟීමක්. අපට හොඳ දේම සිද්ධ විය යුතුය වගේ හැඟීමක්.

ඇයි මට මෙහෙම වුනේ? ඇයි මම කැමති කෙල්ල මට කැමති නැත්තෙ? ඇයි මගෙ පුතාට විභාගෙ පාස් වෙන්න බැරි වුනේ? ඇයි මට promotion එක ලැබුනෙ නැත්තෙ? ඇයි මම මෙච්චර සුදුසුකම් තිබිලත් interview එක පාස්  වුනේ නැත්තෙ? ඇයි නිවාඩුවක් දැම්ම දවසෙම ලයිට් කැපුවෙ? ඇයි හැමදාම ෆයිනල් ඇවිත් මැච් එක පරදින්නෙ? ඇයි ලොක්කට මගෙ වැරදිම පේන්නෙ? ඇයි අවුරුදු නිවාඩුව approve වුනේ නැත්තෙ? ඇයි මගෙ ඔලුවෙ කැක්කුම හොඳ වෙන්නෙ නැත්තෙ? ඇයි අල්ලපු ගෙදර අයට කාර් එකක් තියෙද්දි අපිට එකක් ගන්න බැරි? ඇයි මම සුදු නැත්තෙ? ඇයි කොල්ලො මගෙන් යාලු වෙන්න අහන්නෙ නැත්තෙ? ඇයි කෙල්ල මට බූට් එක තිබ්බෙ….

ඇයි…? ඇයි….? ඇයි…?

ඇයි මේ ඔක්කොම මටම..?

අපෙන් බොහෝමයක් දෙනා ජීවිත ගෙවන්නෙ ඇයි මගෙ ජීවිතය මෙච්චර අමාරු. ඇයි මටම දුක් විඳින්න වෙලා තියෙන්නෙ, ඇයි මටම හැමදේම නැති වෙන්නේ කියන හැඟීමෙන්.

පොඩ්ඩක් පහතින් දක්වා ඇති ඡේදය කියවන්න. Sam Harris නම් රචකයාගේ Moral Landscape නම් කෘතියෙන් උපුටා ගන්නා ලද Bad Life නම් ඡේදයයි.

“ඔබ තම මුලු ජීවිත කාලයම සිවිල් යුද්ධයකට මැදිවී ගෙවන තරුණ වැන්දඹුවකි. අද දින ඔබගේ හත් හැවිරිදි දියණියව ඔබගේ දෑස් ඉදිරියේම දූෂණයට ලක් කර කපා කොටා මරා දැමුණි. දරුණුම ඛේදවාචකය නම් මේ සාහසික ක්‍රියාව සිදුකල පුද්ගලයා වන්නේ පාලනයෙන් තොර සොල්දාදුවන් කණ්ඩායමකගේ පෙළඹවීම මත ඔවුන්ගේ අණසකට අනුව මේ ක්‍රියාව කිරීමට සිදුවුන ඔබගේම දහ හතර වියැති පුත්‍රයාය. ඔබ මේ මොහොතේ දෙකකුල් වල පාවහන් වත් නොමැතිව හැකි උපරිම වේගයෙන් මහා වනාන්තරයක් මැදින් දිව යන්නේඔබ පසුපස හඹා එන සොල්දදුවන් පිරිසකගෙන් සිය පණ බේරා ගැන්මටයි. මෙය ඔබේ දිවියේ නරකම දවස වුවත් ඔබ ගත කල අනෙක් දිනයන්ද මීට වඩා වැඩි වෙනසක් නැති බව ඔබගේ සිහියට නැගෙයි. ඔබ මෙලොව එළිය දුටු දිනයේ සිට මේ දිනය දක්වා  ලෝකය යැයි ඔබ දුටුවේ කෲරත්වයෙන්ද හිංසාවෙන්ද දුක්කම්කටොළු වලින්ද පිරිණු අපායකි. ඔබ ලිවීමට කියවීමට ඉගෙනගෙන නැත. කිසිදා උණුසුම් වතුරෙන් ස්නානය කොට නැත. ජීවිත කාලයටම මේ කැලයෙන් පිටට අඩියක් තබා නැත. ඔබ ඇසුරු කල වාසනාවන්තම මිනිසුන් පවා බඩිගින්න, භය, ව්‍යාකූලතාවයන්ගෙන් ජීවිත ගත කල උන්ය. අවාසනාවකට, ඔබේ ජීවිතය ඔබට සෑහෙන දුක් දී ඇත. ඔබේ මුලු ජීවිතයම මරණයෙන් පලා යාමට ගත් උත්සාහයක් පමණි. ඔබ මේ ගෙවන්නේ ඒ ජීවිතයේ අවසාන මිනිත්තු කිහිපයයි.”

මෙය උපකල්පනයක් මත ගොඬනඟපු චරිතයක් වුනාට ලෝකයේ කී දෙනෙක් නම් මීටත් වඩා නරක ජීවිත ගත කරනවා ඇද්ද?

අපි අපේ ජීවිත ගැන කොච්චර කන්කෙඳිරි ගෑවත් ලෝකේ ජීවත් වන සමහර මිනිස්සු ගත කරන ජීවිතත් එක්ක අපේ ජීවිත සසඳන්නවත් පුළුවන්ද? අපට කොයි තරම් ප්‍රශ්න තිබ්බත් මේ මොහොතේ ගෙදර ඉඳගෙන internet එකෙන් මේ සටහන කියවන ඔයාගෙ ජීවිතය තමාගෙ ජීවිත කාලයටම පිරිසිදු වතුර බිඳක් බොන්න වාසනාව නොතිබ්බ කෙනෙක්ගේ ජීවිතයක් එක්ක සසඳන්න පුළුවන්ද?

Arthur Schopenhauer කියන ජර්මන් දාර්ශනිකයා කියන විදිහට කෙනෙක් විඳින දුක් කම්කොටොළු තුළ යම් සැනසීමක් හොයන්න තියෙන හොඳම ක්‍රමය නම් තමාට වඩා නරක තත්වයක ඉන්න අයගේ ජීවිත දිහා බලන එක කියල. ඔහු කියනව තමාට වඩා නරක ජීවිතයක් හොයාගෙන ඉන් සැනසෙන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙන බව.

තමාට නරක දේ සිද්ධ වෙනකොට සමහරු ඒක කර්මය කියල සැනසෙනව, තව සමහරු ඒක දෙවියන්ගේ කැමැත්ත කියල සැනසෙනව. අපල කාල වලින් බේරෙන්න කියල බෝධි පූජා තියනව. දෙවියන්ට බාරහාර වෙනව. ඉටි පන්දම් පත්තු කරනව. මේ ඔක්කොම කරන්නෙ තමාට නරකක් නොවෙන්න කියල හිතාගෙන.

අපි කවුරුත් අපිට නරකක් වෙනවට කැමති නෑ. ඇත්ත. ඒත් අපි ඇයි හිතන්නෙ අපිට හොඳ දේවල්ම විතරක් වෙන්න ඕන කියල.

තමාගේ ප්‍රශ්න වලින් හෙම්බත් වුන ඉංජිනේරුවෙක් එක දවසක් පල්ලියට ගිහින් දෙවියන් ඉදිරියේ කෑගහනවලු 

 “ඇයි දෙවියනේ මටම වෙන්නේ.. ඇයිමේ.. ඔබ මගේ ජීවිතය මෙහෙම අපායක් කලේ ඇයි” කියල

 එවෙලාවෙම ඔහුට එහා පැත්තේ හිටපු අන්ධ මනුස්සයෙක් හිමීට දෙවියන් අමතල මෙහෙම කියනවලු

 “ස්තූතියි දෙවියනි”

 එතකොට අර ඉංජිනේරුවා අන්ධ මනුස්සයාගෙන් අහනවලු

 “ඇයි ඔයා දෙවියන්ට ස්තූති කරන්නේ? ඔයාට ඇස් පේන්නෙවත් නෑනෙ. ජීවිතේ කිසිම ලස්සනක් ලස්සන දෙයක් ඔයාට දකින්න බෑ නෙ” කියල

 එතකොට අන්ධ මනුස්සය ඉංජිනේරුවගෙන් අහනවලු

 “හොඳට ඇස් පේන ඔයාට ජීවිතේ කිසිම ලස්සනක් දකින්න පුළුවන්ද” කියල

අපිත් ඒ ඉංජිනේරුව වගේ නෙමේද?

හැම දේටම ඇයි මටම? ඇයි මටම කියල අහන අපි කවදාවත් අහනවද ඇයි මටම ඇඟිලි දහයක් තියෙන අත් දෙකක්ම ලැබිල තියෙන්නේ? ඇයි මටම ඇවිදින්න වාසනාව ලැබිල තියෙන්නේ? ඇයි මටම හොඳට පේන ඇස් දෙකක් ලැබිල තියෙන්නේ? ඇයි මටම බොන්න පිරිසිදු වතුර ලැබෙන්නේ? ඇයි මටම මට ආදරය කරන දෙමව්පියන් ලැබිල තියෙන්නේ? ඇයි මටම ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුනේ?

අපිට නරක වෙද්දි ඇයි කියල අහන අපි කවදාවත් අපිට හොඳක් වෙද්දි ඇයි කියල අහනවද?

සමහර විට ඒ හොඳ අපි ලැබිය යුතුය කියලා අපි හිතාගෙන ඉන්න නිසා වෙන්න ඇති.

ඒ අපි ගිය ආත්මයේ පින් කල නිසා? එහෙම නැත්නම් දෙවියන්වහන්සේ මට විශේෂයෙන් ආදරේ නිසා, ඔහු විසින් මම තෝරා ගත් කෙනෙක් නිසා..

එහෙමද?

arthur-ashe

Arthur Ashe කියන අද්විතීය ටෙනිස් ක්‍රීඩකයට කරන්න සිද්ද වුන හදවත් සැත්කමකදි යොදාගත්ත ලේ නිසා ඔහුට අනපේක්ෂිත විදිහට ඒඩ්ස් රෝගය වැළඳිලා. ඒ 1983 දි. එතකොට හැමෝම ඔහුගෙන් අහපු ප්‍රශ්නෙලු “ඇයි මේ වගේ අවාසනාවන්ත දෙයක් ඔයාටම වුනේ.. ඇයි දෙවියන් ඔයාටම මෙහෙම කලේ?” කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට ඔහු දීලා තියෙන උත්තරේ මෙන්න මේකයි.

“ලෝකයේ සාමාන්‍යයෙන් ළමයි මිලියන 50ක් විතර ටෙනිස් සෙල්ලම් කරන්න පටන් ගන්නව. එයින් හරියට ටෙනිස් සෙල්ලම් කරන්න මිලියන 5ක් විතර අය ඉගෙන ගන්නව. එයිනුත් 500,000 විතර වෘතියම වශයෙන් ටෙනිස් ක්‍රීඩා කරන තත්වයට එනව. එයින් 50,000ක් circuit එකට එනව. එයින් 5000ක් grand slam සෙල්ලම් කරනව. එයින් 50ක් Wimbledon සෙල්ලම් කරන්න තේරෙනව. එයින් 4ක් semi final වටයට තේරෙනව. එයින් දෙන්නෙක් අවසන් තරඟයට තේරෙනව. එයිනුත් දිනන්න හම්බෙන්නේ එකම එක්කෙනාටයි. ඒ එකම එක්කෙනා වුනේ මම. ඒත් එදා මම දෙවියන්ගෙන්

ඇයි මටම මේක වුනේ…

කියල ඇහැව්වෙ නෑනෙ”

ඇත්තටම ජීවිතයෙන් හොඳම බලාපොරොත්තු වෙන්නෙ නැතුව නරකත් බලාපොරොත්තු වුනා නම් අපිට ජීවිතයට මූණ දෙන්න තරමක් හරි ලේසි වෙයි නේද? අපිට එන නරක එන්න කලින්ම අපි බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඒවට මූණ දෙන්න මීට වඩා කොච්චර නම් ලේසිද?

හැම වෙලේම ධනාත්මක චින්තනය හොඳයි කියල අපිට පොඩි කාලෙ ඉඳන් කවපු ලණුව චුයින්ගම් එකක් වගේ හප හප ඉන්නෙ නැතුව දැන්වත් එළියට විසි කරල දාමුද?

මොහොතක් හිතන්න..

Advertisements