සේයාගෙන් පසු..

දරුවන් පණ මෙන් සුරකිමු තේමාව යටතේ සංවිධානය කෙරුනු පාගමනක් විවේචනය කරමින් මාතලන් ලියූ කදිම සටහනක් කියවූ පසු එහි මතුවූ වටිනා අදහස් කිහිපයක් ගැන මගේ අදහස් ස්වල්පයක්ද එකතු කිරීමට සිත් විය.

සංවිධානය කෙරුන පාගමන ගැන මාතලන් සඳහන් කොට තිබූ කරුණු කාරණා වලට සම්පූර්ණයෙන්ම එකඟ වෙමි. මාතලන් සඳහන් කොට තිබුනා සේම ඡායාරූපයේ පොලිසිය නියෝජනය කරමින් සිටිනා නිළධාරියා නිසාම එහි අර්ථශුන්‍යය බව ඉස්මතුවී ඉතිරි කරන්නේ උත්ප්‍රාසයක්ම පමණි.

ලක්ෂ ගණනින් මුදල් වියදම් කර පාගමන් සංවිධානය කල යුත්තේ යම් දෙයක් ගැන සමාජයේ අවධානයක් (awareness) ඇති කිරීමටය. දැනටමත් සමාජයේ අවධානය යොමුව ඇති හඳුනා ගත් ප්‍රශ්නයක් වේ නම් කල යුත්තේ එයට විසඳුම් සෙවීම මිස අත් අල්ලන් පාර දිගේ බඩගෑම නොවේ.

සේයා මේ රටේ සියලුම දෙනාගේ රෙදි ගැලෙව්වේය කියා මාතලන් කියනා කතාව මසුරන්ය. රටක් වශයෙන් ලෝකයේ අප සිටිනා තැන ගැන අපටම ඇගයීමක් කර ගැන්මට ලැබුන කදිම අවස්ථාවකි, සේයා දැරියගේ ඝාතනය සහ එම සිද්ධියට අප ජනසමාජයක් වශයෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරය.

සේයාගේ ඝාතනය හරහා සෘජුව කතා කෙරුනේ ළමා අපචාර සම්බන්ධවය.

මේ ගැන කල සොයා බැලීමකට පසු මා දැනගත් පරිදි Pedophilia යනු බොහෝ විට උපතින්ම හිමිවන සුව කල නොහැකි මානසික තත්වයකි(වැරදි නම් නිවැරදි කරන්න). එසේ වුවද මානසික වෛද්‍ය උපදේශන මඟින් Pedophilia මානසික තත්වයේ සිටින පුද්ගලයින්ට ඇතිවන හැඟීම් පාලනය කිරීමට ආධාර ලබා දිය හැකි බවද සඳහන්ය.

සේයාගේ මරණයට සමාජයක් වශයෙන් අප දැක්වූ ප්‍රතිචාරයෙන් පසු ගැටළුව විසඳීමට ඇති තවත් මාර්ගයක් අප විසින්ම අවහිර කරගත් බව පෙනේ.

ඒ මානසික උපදේශන මඟින්ම පාලනය කල යුතු මානසික තත්වයකින් පෙළෙන පුද්ගලයෙක් තව දුරටත් වෛද්‍යවරයෙක් හෝ වෙනත් පුද්ගලයෙක් ඉදිරියේ තමා සිටිනා තත්වය හෙළි කිරීමට සූදානම් වේද යන්න සැකසහිත නිසාය.

විශේෂයෙන්ම ළමා අපචාරකයින්ව ගාලු මුවදොර පිටියට ගෙනවිත් සියල්ලන් ඉදිරියේ පණ පිටින් හම ගැසිය යුතු යැයි සිතනා සමාජයක් ඉදිරියේ ඔවුන් තව තවත් සැඟවී සිටීමට උත්සාහ කරනු විනා ඉදිරියට පැමිණ තම වෛද්‍ය සහය ලබා ගැන්මට පෙළඹේ යැයි සිතිය නොහැක.

අවසානයේ මෙසේ සැඟවී යන හානිකර ලිංගික ආශා පිටව යන්නේ තවත් අහිංසක ළමා ජීවිතයක් විනාශ කරගෙන විය හැක.

එනයින් ගත් කල ද්වේෂ සහගත මානසිකත්වයෙන් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ගොස් අප විසින් ප්‍රශ්නය තවත් උග්‍රකර ගත්තා දැයි සිතේ.

ජනසමාජයක අනාගතය නියෝජනය කරන ළමා පරපුර එම සමාජයේම වැඩිහිටියන්ගේ ලිංගික අතකොළු බවට පත් වීමට එරෙහිව අප සියල්ලන් කටයුතු කල යුතු බවට විවාදයක් නැත.

නමුත් එම විරෝධය පැමිණිය යුත්තේ කොන්දේසි රහිතව මිස කොන්දේසි සහිතව නොවේ.

උදාහරණයකට ආගමික ස්ථාන වල සිදුවේ යැයි කියන ළමා අපචාර වලටද සේයාගේ අපචාරයට දැක්වූ විරෝධයම එල්ල විය යුතුය.

අපගේ දේශපාලනික, ආගමික, මානසික උවමනා එපාකම් වෙනුවෙන් වැඩිහිටියන්ට ළමයින්ව අපචාරයට ලක් කිරීමට ඉඩදෙන සමාජ ක්‍රමයක් ආරක්ෂා කරන ගමන් තැනින් තැන සිදුවන එවැනිම සිද්ධි වලට එරෙහිව සරම කරට ගැනීමෙන් තහවුරු වන්නේ අප කන්න වුනාම කබරයා තලගොයා කරගන්නා කුහකයන් පිරිසක් බව පමණකි.

ලිංගිකව පමණක් නොව ශාරීරිකව සහ මානසිකවද පාසැලේදී, ආගමික ස්ථානවල මෙන්ම දෙමාපියන් අතින්ද වන ළමා අපචාර ගැන සමාජයක් වශයෙන් මීට වඩා සංවේදී විය යුතුය.

අප ජීවත් වන, මතවාදීමය වශයෙන් අප විසින් රකිනා සමාජ ක්‍රමය පිළිබඳව අප තව තවත් ප්‍රශ්න කල යුතුය.

අප රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සිදුවීම යථාර්තයක් බවත් සමාජයක් වශයෙන් මේ ගැටළු වලට කඩිනමින් විසඳුම් සෙවිය යුතු බවත් අඩුම තරමේ තේරුම් ගෙන සිටීම සතුටුදායකය.

අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ ලිංගිකත්වය හා බැඳෙන මෙම අපරාධ දිගින් දිගටම සිදු වීමෙන් අවසානයේ ඉතිරි කරන්නේ අප සමාජයක් වශයෙන් ලිංගිකත්වය ගැන දරණ ආකල්ප පිළිබඳ ප්‍රශ්නාර්ථයක් බවය.

DSC_7991

Advertisements