කුණුහරප දුටු විට සුළු දිය පහ වෙන රෝස කැලෙන් ගෙනා බබ්බු

TupacMiddleFinger

සෑහෙන කාලයක සිට වාද විවාදයට බඳුන් වන සමාජ ජාලා වලදී කුණුහරප හෙවත් අසැබි වදන් භාවිතය පිළිබඳව ලියන්නාගේ අදහස් මෙසේය.

මුහුණු පොත සහ බ්ලොග් අවකාශය ඇතුලු සමාජජාලා වලදී ඇතිවන සංවාද සහ කතිකාවත් ටයි කෝට් දමාගත් මහත්වරුන් ඒසී කල කාමර වල සිට කරනා සංවාද වලට සමාන විය යුතු නැත. සමාජ ජාලා වල කෙරෙන සංවාද වල වටිනාකම රැඳී තිබෙන්නේ එහි ඇතිවන සංවාද ඒසී කාමර වල ටයි කෝට් සම්ප්‍රදායෙන් වෙනස් වනතාක්ය.

අව්‍යාජ බව, අවංක බව, සෘජු අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, සාපේක්ෂව ඉතා අඩු සීමා වලින් බැඳුනු අවකාශයක ඕනෑම සමාජ මට්ටමක සහ බුද්ධිමට්ටමක අයවලුන්ට තම අදහස් අන්‍යයන් සමඟ බෙදාගැන්මට තිබෙන හැකියාව වැනි ඒසී කාමර වල මහත්වරුන්ගේ සංවාද වලදී නොමැති එහෙත් සමාජ ජාලා හෙවත් සයිබරයේ ඇති දේ නිසා එහි වටිනාකම සුළුකොට තැකිය හැකි නොවේ.

එය එසේ තිබියදී කවුරුන් හෝ ඒ.සී කාමර වල තිබෙන කොන්දේසි, සීමා සහ ඊනියා සදාචාරයක් සයිබරයට ගෙන ඒමට තනනවා නම් ඒ කවුරුන්ට හෝ කීමට ඇත්තේ කරුණාකර ටයි පොල්ලක් දාගෙන ඒ.සී කාමරයක් ඇතුළට රිංගා ගන්නා ලෙසය.

සමාජ ජාලා ගැන ලියන්නා දුටු හොඳම විග්‍රහය ඉදිරිපත් කර තිබුනේ කාලයක් මුළුල්ලේ බ්ලොග් ලියන්නකු වන මයියා ය. ලියන්නා එම විග්‍රහය ඔහු දුටු හොඳම විග්‍රහය ලෙස නම් කරන්නේ එහි ඇති සරල බව හේතු කරගෙනය.

අප කවුරුත් අසා ඇති ප්‍රසිද්ධ කථාවක් තුළට මයියා විසින් සමාජ ජාලා අපූරුවට ගලපා තිබුනි.

ඔහු විසින් සමාජ ජාලා සසඳා තිබුනේ බුද්ධිමතුන්ට විතරක් පෙනෙන සළුවක් හැඳගෙන යයි සිතා හෙළුවෙන් යන රජතුමා දෙස සියල්ලන් නිහඬව බලා සිටියදී සිය අවංක හැඟීම කෑගසා කියූ කුඩා දරුවාටය.

මේ සටහන ලියන මම සහ කියවන ඔබ ඇතුළු බහුතරයක් සයිබර් ක්‍රියාකාරීන් නියෝජනය කරන්නේ ඒ කුඩා දරුවාගේ හඬයි !

ඒ කුඩා දරුවාට තිබෙන නිදහස, අප විසින්ම අනවශ්‍ය සීමා මායිම් දමා නැතිකර ගතහොත් වරදින්නේ වෙන කිසිවෙකුට නොව, අපටමය.

එනමුත් මේ අවකාශයේ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කීමට, කිරීමට හෝ රිසි අයුරින් හිතුමතේ හැසිරීමට ඉඩ ලැබිය යුතු බව ඉන් කියවෙන්නේ නැත. පැහැදිළිවම නැත.

කෙනෙක්ගේ නිදහසේ සීමාව අවසන් වන්නේ අනෙකාගේ නිදහස පටන් ගන්නා තැනින් යයි ප්‍රසිද්ධ කියමනක් ඇත. ඒ කියමන සිතේ තබා ක්‍රියාකල හැකි නම් ප්‍රමාණවත්ය.

ලෝකය වෙනස් කරන්න කතා කරන, ලෝකේ නැති දර්ශනවාදී සංවාද වල නියැලෙන අප සයිබර් ක්‍රියාකාරීන් හට එම සරල කරුණ වටහා ගැන්ම අපහසු වේ යැයි සිතිය නොහැක.

සමහර පිරිස් දුටු පමණින් ඌයියා කිරීමට සමත් අසැබි වදන් හෙවත් කුණුහරප ගැනත් යමක් සඳහන් කල යුතුය.

අසැබි වදන් හෙවත් කුණුහරප යනු සරලවම ගතහොත් සමාජයක අසභ්‍යය යැයි සම්මත වුන වචනය. කාලයෙන් කාලයට ඒ අසැබි ලෙස සම්මත වචන වෙනස් වන අතර කාලයෙන් කාලයට ඒ වචන යොදාගන්නා ආකාරද වෙනස් වේ. පරිනාමය වේ.

සයිබර් ක්‍රියාකාරීන් විසින් මුහුණු පොත තුළදී, බ්ලොග් අවකාශයේදී කතා කරන්නේ සමාජයේම එදිනෙදා අහන්නට දකින්නට තිබෙන ප්‍රායෝගික දේවල් නම්, ඒ දේවල් නිදහසේ කතා කිරීමට නොහැකි තත්වයක් තුළ සමාජජාලා වල ඇති ඵලය කුමක්ද? පාරට බැස පැයක් දෙකක් ඇවිද ආ පසු අහන්න තිබෙන, දකින්න තිබෙන දේවල් සහ ඒවායේ හරි වැරැද්ද පිළිබඳව වාරණයකින් තොරව සාකච්ඡා කල නොහැකි නම් මේ මුහුණු පොත්, බ්ලොග් කොස් කොටන්නද?

අපි අපිවම රවට්ටා ගත යුතුද?

සමාජයේ ඇති අසූචි, ගූ බෙටි එකතු කොට සුදු සළුවලින් එතූ පමණින් ඒ අසූචි වලින් සුවඳ හමන්න ගනීවිද?

අපි අයින් කරමු සුදු සළුව. දිග අරිමු සමාජයේම හෙළුව. මේක අපේ අවකාශය. අපිම නීති දාලා, බොරු සළු ඔතාගෙන, සමාජයේ නැති සදාචාරයක් මෙතනට ආරෝපනය කරගත්ත රෝස කැලෙන් ගෙනාපු බබ්බු නොවී අවංක වෙමු අපි අපිටම !

සමාජයේදී කාන්තාවට හුත්ති කියනවා නම්, වේසි කියනවා නම්, බඩුව කියනවා නම්, එහි හරි වැරැද්ද ඒ වචන භාවිතා නොකර කථා කරන්නට හැකිද?

ගෑණුන්ට හුත්ති, වේසි, බඩුව කියන සමාජයක ඉන්න අපි මෙතන ඇවිත් මහත්මිය, මෙනවිය කිව්වාම හරි ආතල් ද? චූන් ද?  නගිනවද? ( උදාහරණයක් පමණි. ඇඟිල්ල දෙස නොබලා හඳ දෙස බලන්න)

කරුණු එසේ වුවත් නිදහස සහ වල්බූරු නිදහස පටලවා නොගත යුතුය. කුණුහරපයක පවා හරි වැරැද්ද තීරණය කල යුත්තේ බුද්ධිමත්වය. අදාල context එක සලකා බලාය. යම් හැඟීමක් ප්‍රකාශ කිරීමට අසැබි යැයි සම්මත වචනයක් යොදා ගැනීම සහ පුද්ගලයෙක්ට අපහාසයක් හෝ ඔහුගේ/ඇයගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් අසම්මත යැයි සම්මත වචනයන් යොදා ගැනීම යනු දෙකක් මිස, එකක් නොවේ.

විය යුත්තේ කුණුහරප වලින් සමාජ ජාලා ආරක්ෂා කිරීම නොව, පුද්ගල අපහාස සහ චරිත ඝාතන නැවැත්වීමය. සදාචාරය යනු එය මිසක ‘වචන’ වලට තහංචි දමාගෙන දැඟලීම නොවේ.

කුණුහරප යොදාගෙන වැදගත් මෙන්ම හරවත් සටහනක් ලිවිය හැකි සේම සමාජයේ සභ්‍යය යැති සම්මත වචන යොදාගෙන අමු කුණුහරපයක් ලිවිය හැකිය. එසේම කුණුහරපයක් යොදාගෙන තමාගේ මිතුරාට තම හැඟීම් ප්‍රකාශ කල හැකි සේම එක් කුණුහරපයක් වත් යොදා නොගෙන මුහුණු පොතේ හෝ බ්ලොග් අවකාශයේ මනුස්සයෙක්ව නැතිම කර දැමීමත් කල හැක්කකි.

මේ කරුණ නොවැටහෙන යමෙක් වැඩිහිටියන් අතර කෙරෙන සංවාද වලට සුදුසුද? වැඩිහිටියන් අතර සංවාද විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මත පල කිරීමට සුදුසුද?

එය කියවන්නා හමුවේ මා තබන පැනයයි.

කුණුහරප දැක්කම ඇස් දෙක ඌයියා වෙලා සුළුදිය පහවෙන චූටි බබාලා හෝ, ජීවිතේට මහ පොළවට බැහැල නැති සැබෑ ලෝකේ තිත්ත දැනිල නැති දූවිලි ඇඟේ වැදිල නැති කුණුහරප අහල නැති ලේ දැකල නැති තොත්ත බබ්බු වැඩිහිටියන් අතර කෙරෙන සමාජීය, සංකෘතික, දේශපාලනික සංවාද වලට සුදුසු නැත.

කීමට ඇත්තේ එපමණය.